Thursday, October 12, 2017

ජීවිතය මේ වගේය...කාලයට ඉඩ දී අපද යන්නේය...

Image may contain: tree, sky, plant, outdoor and nature
මම පෙර පාසල් ගිහින් නැත. අපේ මල්ලිලාට බාලාංශ පංතිය කියා එකක් තිබුණාට අපිට තිබුණේ කෙලින්ම එකේ පංතියය. ගමේ ඉස්කෝලේ එකේ පංතියට මම ඇතුලත් කරනකොට අපේ තාත්තා එහිම උප ගුරුවරයෙක් වී සිටියේය. එහෙත් මම තුනේ පංතියට යනකොට තාත්තා එහිම මුල්ගුරුවරයා වූයේය. ලොකු අක්කාත් අයියාත් නගරයේ වූ ප්‍රධාන පාසල් දෙකකට ගිය අතර පොඩි අක්කාත් චූටි අක්කාත් මමත් මල්ලීත් තාත්තාගේ පාසලට ගියේය. එහෙත් ළමුන් තුන්සිය පනහක් හාරසීයක් පමණ අතරේ අපි කිසි දවසක විශේස වරප්‍රසාද ලබන්නට ගියේ නැත. තාත්තා කියා පාසල තුල ඔහු සොයා ගියේවත්, අප ඔහුගේ දරුවන් කියා අන් අයට ලොකුකම් පෙන්වීමවත් උත්සාහ කලේ නැත. කොටින්ම අප පාසල තුල මුල්ගුරුවරයා මතක තබාගෙන තත්තාව එහෙම පිටින්ම අමතකර දැම්මා සේය. තාත්තා අල්ලපු පංතියේ ඉන්නා විට ගණන් පහක් වැරදියැයි කියා මා පංතිභාර ගුරුතුමියගෙන් කෝටු පාරවල් පහක් කෑමත්, මල්ලීගේ පංතියේ පිරිමි ළමයෙක් ගැහැණු ළමන්ට අනවශ්‍ය විහිලුවක් කලායැයි වරදට පංතියේම වූ පිරිමි ළමයින් නැගිටුවා තාත්තා කෝටුපාර ගසද්දී මල්ලීටද ගැසූ සිද්දියත් කිසිදාක මට අමතක වන්නේ නැත .
වැසි දවස්වල පාසල් යන්නට පුදුම කැමැත්තක් එකල මට විය. හිතේ හැටියට පංතියේ කතාකරන්නට හිනාවෙන්නට හොදහැටිම පුලුවන් වෙන්නේ එදාටය. ඒත් වැසිදාට හැමදාමත් මුල්ගුරු නියෝගය වන්නේ අපට ගෙදර සිටින ලෙසය. සමහර දාට අපි තාත්තා ගිය පසු ඉස්කෝලෙට යන්නේ අම්මාගේ අවසරය පිටය. එක දවසක මහ දබ වැස්සක අපි තිදෙනාට ගෙදර සිටිනා ලෙස කියා තාත්තා ගියේය. කුඩ මහා ගොඩාක් එදවස ගෙදර තිබුණේත් නැත. චූටි අක්කාත් මල්ලීත් මාත් දිග ඉටිරෙද්දක් යටට වී එලියට බැස්සේ මුල්ගුරු නියෝගය කඩමින්ය. මතක් වෙනකොටත් හිනාය..ඉස්කෝලේ ගේට්ටුව ලගට යනකොට අපේ ඇගේ වතුර ගලන්නේය. දැන් ඇතුලට ගිහින් බැරිය..තාත්තා දකීවියැයි හිතා ආපසු එන්නට පාරට පැන ගලාගෙන යන වතුර පාරවල් වල උඩ පැන පැන අපි ආපහු ගෙදර ආවෙමු..ඒත් මගේ පොත් දෙකක් මඟ මට නොදැනිම වැටී ඇත..මහ ලොකුවට මුල් පිටුවේ ලියා තිබූ නම බැලූ කවුරුන්හෝ එය තාත්තාටම බාරදී තිබුණි. ඉතිං නොපෙනී ආවාට වැඩක් වූයේ නැත. තෙමීගෙන විත්
වහලෙන් ගලන වතුර පිහිල්ලට ඔලුව අල්ලා වැහිවතුරෙන් හොද හැටි නෑවත් එදවස අපිට කිසිම ලෙඩක් නැත. අද වහලයට වැහි වැටෙනකොට කිඹුහුන් අරින්නේ ගෙවල් ඇතුලේ සිටිනා ළමයින්ය.
තාත්තා ඉස්කෝලෙ වත්ත පුරා ගස් වැව්වේය. අරලිය , අඹ, කොස්, තේක්ක, කජු, මේවාගෙන් සමහරක් තවමත් ඉතිරිව තියෙන්නේය..අදද ඒ අරලිය ගස්වල මල් පිපී ඇතිකොට එදා දවස්ද මියගිය තාත්තාද නිරතුරු මතකයට එයි. 
පොඩි අක්කා ඉස්කෝලෙ යන්නට හොර බව අම්මාද කියනවා මතකය..හැමදාමත් උදේට වෙන මේ යුද්දය නිසා හරි ජරමරයක් අම්මාට වෙයි. 
දවසක් ඉස්කෝලේ යන්නට බැයිනම් ගෙදර ඉදන් සෙල්ලම් කරන්නටත් බෑ කියමින් තාත්තා පොඩිඅක්කාගේ අත්දෙක අල්ලා ගේ ඉදිරියේ තිබූ කෝප්ප පැලයකට තබා රෙදිපටියකින් බැද පාසල් ගියේය..අම්මා වහා අක්කාව ගෙට ගෙන ගියාය.ඒ අප කුඩා කලය.ඊට පසු ඇගේ පාසල් ගමන නතරවූයේ කැළණිය විශ්ව වද්‍යාලයටත් ඇතුලත් වීමෙන් පසුවය 
ජීවිතය මේ වගේය...කාලයට ඉඩ දී අපද යන්නේය..මහා ගොඩක් සිද්දි වෙද්දී එකක් දෙකක් කියන්නට හෝ හිතුනේ, තාත්තාගේ ජීවිතේ වැඩිහරියක් ගෙවාහල අපේ පාසල් ජීවිතේ වැඩිහරියක් ගෙවාහල ගමේ ඉස්කෝලය තවමත් කඳු මුදුනේ එදාමෙන්ම අදත් ඇස ගැටෙන නිසාය, සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසුණ තාත්තා පඩිපෙලේ උඩම පඩියේ සිට බලාගෙන ඉන්නා හැටි තාමත් මැවී පෙනෙන නිසාය. කාලය අජීවී බොහෝදේ එලෙසින්ම ඉතුරු කර සජීවි ජීවිත කොපමණ ප්‍රමාණයකින් වෙනස් කර ඇද්දැයි සිතෙන්නේ මෙවන් වෙලාවටය

(ප්‍රියංකා නානායක්කාර )

Thursday, September 14, 2017

සත දහයේ කාසිය..


මතක අස්සේම මට මතක නැත්තේ එදවස මම කොයි තරම් ලොකුවට සිටියාද කියාය. ඒ මම පොඩි දවස කියානම් හොදහැටි මතකය..ඉස්සර සත දහයේ කාසිය තිබුනේ තඔ වලිනි..මට ඒ තඔ ශත දහයක් ගිලුණේය. සල්ලි කටේ දාගන්න එපායැයි අම්මාත් තාත්තාත් ඇති තරම් කියා ඇතත් අපේ තියෙනා කොහිබිනාකමටම එපා කියන දේම කරන්නට ඇත..මා කිසිවෙකුට කිව්වේ නැත..උගුරතුල සත දහය හිරවී රිදුම් දෙන්නට විය..අම්මාට කියන්නටද බය සිතුනි..ක්ෂනිකව පහලවූ හිතුවිල්ලකට අනුව මම ඇඳට නැග නිදාගන්නට උත්සාහ කලෙමි...මට නින්ද යන්නට ඇත..බොහෝ වෙලාවකට පසුව නින්දෙන් නැගිටින විට රෑ බෝ වෙලාය..උගුරේ වේදනාවද නැත..එදා ඒ ලොකුම මෝඩ වැඩක අවසන එසේ වූයේ පෙර පිනකට මගේ මගේ ජීවිතය බේරිලාය..ශත දහය උගුර තුල හිරවූ බව මම කිසිවෙකුට නොකියා නිදා ගත් මගේ ජීවිතය නින්දේදිම අවසන් වන්නටද තිබුණි..එය මා අම්මාට පැවසූවේ බොහෝ ලොකු මහත්වීමෙන් පසු දවසකය..එදා වත් අම්මා මට බැන්නේ නැත . ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියා මතකය..ඒ හිත දැවෙන්නට ඇත.
නොතේරුම් කල අපි අම්මාට හා තාත්තාට මහ ගොඩක් වද දුන්නා නොවේදැයි දැන් දැන් සිතෙන්නේය. නංගී ඉපදුනේ අපට බොහෝ පහුවීය..ඒ නිසාම අපේ දඟ වැඩවලට ඇයට එක්වෙන්නට බැරිවිය..මල්ලි එදවස පවුලේ කුඩාම සාමාජිකයාය. අයියා හැම වෙලාවෙම නිස්ශබ්දය...ලොකු අක්කා දවසක් කිව්වේ ඔළුවෙන් හිටගෙන වතුර බොනකොට බඩට යන්නේ නැති බවය.දැන් අපිට හරි කුතුහලයකි.මම පොඩි අක්කා හා චූටි අක්කා මෙය අත්හදාබලන්න හිතුවාය..හිත හිතා හිටියේ නැත...කටට වතුර එකක් පුරවා බිත්තියට හේත්තු වී ඔලුවෙන් හිටගෙන වතුරු ටික ගිල්ලාය.බාගයක් බඩටත් බාගයක් නහය දිගටත් ගියේය..කුහලය පලා ගියේය.
උයන පිහින රෙදි හෝදන අතුපතුගාන අම්මාගේ පපුව පිච්චී යන වැඩ වෙන්නේම අප අතින්මය.
තවත් දවසක ඉස්කෝලය ඇරී ආ පොඩි අක්කාත් චූටි අක්කාත් කෝටු කපන්නට කියා වත්තට ගියාය. මොහොතකින් චූටි අක්කා ඉකිගසමින් එන්නේ හිසෙන් ලේ පෙරමින්ය..පොඩි අක්කාගෙ අතින් චූටි අක්කාගෙ හිසට කෙටිලාය. අම්මා දෝතින් චූටි අක්කාගේ හිස බදාගත්තා මතකය.
මල්ලී නලවන්න තාත්තා සාරි රෙද්දක් යටලීයක බැද තොටිල්ලක් සාදා දී තිබුණි..රෙදිපටවල් දෙක ඈත් වෙන්නට කොට්ටයක් දමා අම්මා මල්ලී එතුල නිදි කරවන්නේ හෙමිහිට හොලවමිනි.
මටද මල්ලී නලවන්නට හිතුනාය..හිමිහිට පටන්ගත් නැලවිල්ල මල්ලි තොටිල්ල පිටින් බිත්තියේ වදිනතුරුම නැලෙව්වේය..එදානම් අම්මාගෙන් සැර ගුටියකුත් කෑවේය.
තාත්තා අක්කලා අයියා ඉස්කෝලේ ගිය පසු ගෙදර ඉතිරිවෙන්නේ මාත් අම්මාත් මල්ලිත් පමණි..තනියම සෙල්ලම් කරන්න වෙන්නේ එතකොටය..දවසක්දා හරිම අකරතැබ්බයක් විය..අම්මා සාදා දුන් කඩලගොටුවකට වැලි පුරවාගෙන අැදටම ගෙනවිත් උඩුබැලි අතට දිගාවී එහි හැඩබලන්නට විය.එක්වරම කඩදාසිය ලිහී මගේ ඇස් කට නහය පුරාම වැලි පිරුණේය..මගේ ඇස් පිරිසිදු කරන්නට අම්මා එදා පුදුමාකාර මහන්සියක් ගත් අතැ තාත්තා ඉස්කෝලේ ඇරී ගෙදර ආ විගස බයිසිකලයේ මා හිදුවාගෙන දොස්තර ගෙදර ගියේය.
අපි හයදෙනෙකුගේ හා පසුව ආ නංගීගේ ජීවිත රකින්නටත් පෝෂණය කරන්නටත් යාමේදී ඔවුන්ගේ හදවත් කොපමණ වරක් පිචචී යන්න ට...සැලී යන්නට, අසරණ වෙන්නට ඇද්දයි මට සිතෙන්නේ එහෙයිනි..මේ සිදුවුන මහගොඩාක් සිද්දිවලින් එකක් දෙකක් පමණය..හැම අම්මෙක් තාත්තෙක්ම මෙහෙමම වන්නට ඇත..අද තාත්තා නැතත් අම්මා නිවීහැනහිල්ලේ කාලය ගෙවමින් සිටී..විටක අපගේ කුඩාකල ගැන සිහි කරන්නේ හිනාපිරි මුවින්ය..එදවස කන්දක් තරම් ඉහිලූ දුක් දැන් ඔවුන්ගේත් ආදරණීය මතක වී හමාරය..
(ප්‍රියංකා නානායක්කාර )

Wednesday, September 6, 2017

දෙමෝලෙන් කෙටීම සහ බ්ලෙන්ඩර්..ගයින්ඩර්



අපි පොඩි දවස්වල සෙල්ලම් කරන්නටවත් ලඟ පාත ගෙවල් වලට යනවාට තාත්තා කැමති වූයේ නැත. යන්න තිබ්බ එකම තැන ලොකු අම්මාලාගේ ගෙදර එනම් අම්මාගේ මහගෙදර විතරය. ලොකු අම්මාට දරුවන් එකොලොස් දෙනෙකි . අපි ත් හතර පස් දෙනත් එකතු වු කල එකම කාලගෝට්ටියකි..ඒ හැමටම උන්දැ ඇමතුවේ පොඩ් දුව චූටි දුව ලොකු දුව කලු දුව සුදු පුතා වැනි එක එක විශේෂන කෑලි දමාය. අම්මාගේ නංගීවූ අපේ පුංචිත් අම්මාගේ මල්ලීවූ අපේ හීන් මාමත් සති අන්තයේ එන ලොකු තාත්තාත් එකතු වූ කල ඒ ගෙදර ලොකු පිරිසක් සිටියහ.
බොහෝ වෙලාවට අපි යන්නේ හැන්දෑවටය. සමහර දිනක ලොකු අම්මා කුස්සි‍යේ තනියම කොස් ගෙඩියක් කපමින් සිටියි..පුංචි තවත් වැඩකය..ඒ වෙලාවට එයාලා කියනා කතා අහන්න ආසය..ඒ කුස්සිය මැද ලොකු ගල්පොත්තක් වලලා තිබුණේය.. ඉතිරිටික එය වටවෙන්නට ගොම මැටි ගා තිබුණේයබ.සමහර දිනක ඒ මැදට වී ගොඩක් හලා හතර පස් දෙනෙක් වටේට යමින් ඒවා කොටමින් සිටියේය..බලන්න ලස්සනය ..විසිරෙන වී රවුමට යන ගමන් කකුලෙන් ආයෙම ආයෙම ගල්පොත්ත මතට රොක් කරමින් කොටන්නේය..සමහර දිනක මටත් මේ වැඩේට ආසා හිතේන්නේය..පුංචිගේ මෝල්ගහ ඉල්ලාගන්නා මමද ඔවුන් සමඟ ඔවුන්ගේ තාලයට කොතකුත් කොටන්නට උත්සාහ දරා ඇත..එතනින් ගන්නා වී පොලා තවත් හොදට කෙටෙන්නට වංගෙඩියේ දමාද කොටයි. ඒ කුස්සියේ පැත්තක මහ පත වංගෙඩියක් ද බිමට සවි වෙන සේ ගෙබිම තුල ගිල්වා තිබුණේය..දෙන්නෙක් දෙපැත්තේ සිට එකම වංගෙඩියේ කෙටීම දෙමෝලෙන් කෙටීම ලෙස මා ඉගෙන ගත්තේද එහිදීය..මමත් එසේ දෙමෝලෙන්ද තනි මෝලෙන්ද කෙටීමට කල් ගත වෙනකොට ඉගෙනගත්තේය.
අදද ඒ ගෙදර තියෙන්නේ එදා මෝස්තරයටමය. උස පිලකින් යුතු ගෙයට නගින්නට පඩි හතරක් ඇත..මිදුලෙම පැතලි ගලක් අැත..මට හොඳටම මතක දෙයක් ඇත..රුක්මණීදේවියගේ මරණය ගැන මම ඇහුවේ මේ පඩි හතර පාමුල සිටය..පොඩි නිසා මට තේරුමක් නැතත් ලොකු අම්මා හා පුංචි කදුලු සලමින් මේ ගැන කතාවූ හැටි හිත තුල තවමත් ඇත.ඒ ඒ කාලේ අයගේ හැටිය.
එදා අද මෙන් ගමේ මෝලක් තිබුණේ නැත..අද නම් මොනවා හෝ අඹරන්න ඕන වුනොත් අරන් යන්නේ මෝලටය..එද බ්ලෙන්ඩර්..ගයින්ඩර් ද නැත..හැමදේටම කුරහන්ගල නැතිනම් මිරිස්ගලය..අම්මා මුං ඇට..කුරහන් බැදපු හාල් වගේ දේවල් අඹරන්නේ ලොකුඅම්මලාගේ කුරහන්ගලේ දමාය..ඒකත් ලේසි පාසු ගලක් නෙවේය..තනි එක්කෙනෙකුට ඇද කරකවන්නට බැරිය..අම්මගෙ සහයට යන අපි බැරි බැරි ගාතේ ගලට හයිකර ඇති පොල්ලේ එල්ලී එය කරකවන්නට යන විට එය ගැලවී යයි..අඹරනවාට වඩා අම්මා කරන්නේ පොල්ල ගලේ සවි කරනා එකය..අපි එදවස කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ ලොකු අම්මා වැනිම බඩු කියාය..මොකද ලොකු අම්මාත් බොහෝ මහත දෙහෙත ඇති ගැහැණියක වූවාය. මම නම් කැමති යසෝ අක්කලාගේ පුංචි කුරහන් ගලටය.එය තනිවම කරකවන්නට පුලුවන..
සුජා අක්කා ලොකු අම්මාගේ පොඩි දුවය.දවසක් ගේ ඉස්සරහා අලිපේර ගහ යට අපේ අක්කලා මම සුජා අක්කා සමග තවත් කවුදෝ හිටියා මතකය..අලිපේර ගහේ එක අත්තක් ගෙඩිවලින් වැහී තිබුණාත් මතකය. ආන් අර අත්තේ තියෙන අලිපේර ගොඩ කියා සුජා අක්කා කීවා විතරය. එක්විටම ජරබරාස්ගා අත්ත කැඩී බිම වැටුනේය. වුනේ මොකක්දැයි හිතාගන්නට බැරිඑදා අපි ඇතිවෙනතුරු හිනා වුනේය..
අම්මාට කරගැනීමට අමාරු හැම වැඩකදීම ලොකු අම්මා අපේ ගෙදරය..දවසක් මා වඩාගෙන හැතැම්මක් පමණ පයින් ගොස් මට බෙහෙත් අරන් දුන්හැටිත්.එහි මඟ දිඟට පිපී තිබූ තම්බර්දියා මල් ඉල්ලා කන් කෙදිරි ගෑ තැන මෙල් පොකුරකුත් කඩා දුන් හැටිත් මතකය. කෙසේ හෝ මා විවාහ වී ගම්පහට ගොස් සිටින කාලයේ රෝගාතූරව සිටි ලොකු අම්මා මිය ගියාය. මගේ කුස තුල මා පුතු රැදී සිටි මුල් මාස කිහිපයේ තදින් මා ලඳ වෛද්‍ය උපදෙස් මත දුර ගමන් යෑමෙන් මා වලකාලීම නිසාම ලොකු අම්මාගේ මලඟමට මට ගමට එන්නට නොහැකිවිය..ඒත් තවමත් අප හිතුවිලිමත ජීවමානව නිතර සැරිසරන කෙනෙක් ලෙස ඒ මතක හැමදාමත් මා අවට සැරිසරන්නේය. ගල්පෙඩිල පෙල..වංගෙඩිය කුරහන්ගල..මහගෙදර ..අජීවි වස්තු තවම ත් නොනැසී ඉද්දී අප වටා උන් ලොකු අම්මා..ලොකු තාත්තා ..හීන් මමා...අපේ තාත්තා.වැනි සජීවි චරිත එකින් එක අපෙන් සමුගෙන ගියේ ලෝක ධර්මතාවයට හිස නමමිනි.

(ප්‍රියංකා නානායක්කාර )

Tuesday, August 29, 2017

විදුලිය එළිය දැක ..



මීට අවුරුදු තිස් හතකට පමණ පෙර අම්මාට, තාත්තා ලොකු කුස්සියක් හදා දී තිබුණේය..අද මෙන් සිමෙන්ති, ටයිල්ස්, සීට්, සිවිලින් එදා කුස්සිවල තිබුණේම නැත. බිත්තිවල හුණු පිරියම් කර බිම ගොම මැටි ගා වහලයට බැන්දේ පොල් අතුය..එසේ වුවද දවස ගෙවී හැන්දෑව එළඹිකල එතුල තුල තිබූ උණුසුම ආදරය සතුට කිසිදා අඩුවක් වූයේ නැත. අපි හය දෙනාත්..අම්මාත් තාත්තත් එකතු වූ කල ලොකු කච බචයකින් එය පිරී යන්නේය..අම්මා පිසින ආහාර සුවඳත් එක්ක තාත්තාගේ පරණ කතාද තැනින් තැනින් මතුවෙන්නේය . හොඳම දේ එදා විදුලියද තිබුණේ නැත. 
අම්මා උයා පිහාගෙන පේලියට පිගන් තබා එක එක්කෙනා කන ප්‍රමාණය වෙන වෙනම පිගන් අටකට බෙදන මොහොත එනතුරු තාත්තාත් කුස්සියට වී ඉදින්නේය..එදවස නංගී ඉපදී නැත..පොඩිම මල්ලීය..තාත්තා මල්ලීට ලාම්පු එලිය හරස්කර අත් සහ හිස එකතුකර සෙවනැලි සතුන් බිත්තිය මත මවා පෙන්නූ හැටිත් ඒවා කරන්නට අපද උත්සාහ කල හැටිත් අදත් මතකය.
මාස හතරක් පමණ අපේ පලාතට සීත කාලය රැදෙන්නේය..අද එදා තරම් සීතලක් නොදැනුනත් එදවස රැය එනවිටත් උදෑසනත් මහ පුදුමාකාර ශීතලකින් අපි වෙලාගනු ලබන්නේය..එහෙත් අම්මා උදෑසනින් නැගිට ලිපිගිනි මොලවන විට තාත්තා නැගිට අපූරු වැඩක් කරන්නේය..ඒ කුස්සිය මැද ගිනිමැලයක් ගැහීමය. බිත්ති කලුවෙනවා කියා මැසිවිලි නැගුවත් අම්මා එය එපා කිව්වා කියා මතකයක්ද මට නැත..කෙසේ වුවද..අප නැගිටින නැගිටින කෙනා වෙව්ල වෙව්ලා ගොස් අර ගිනි මැලය වටා ටික වෙලාවක් ඉදගෙන ඉදීම අනිවාර්යෙන්ම කරන්නකි..වංගෙඩිය හැමදාමත් බිම පෙරලීගෙනය..එය අපට ඉදගන්නට හොද ආසනයකි. විටෙක තාත්තා සරමක් ගෙනවිත් එක පැත්තකින් ගුලිකොට ගිනිමැලයට ඉහලින් අල්ලයි..බැලුමක් මෙන් පිම්බී එන සරම රවුමට කැරකෙන්නට බලයි.ඒ දකින.මල්ලිගේ සතුට පිට පනිනන හිනාවක උතුරා ගිය හැටිත් මතකය. තවමත් හිතෙන්නේ එදවස පුදුමාකාර සැහැල්ලුවකින් ගෙවී ගිය බවය.
අද මෙන් නොව එදවස අම්මලා කරන දේවල් කිරීමට අපිද හරි කැමැත්තක් දැක්වූයෙමු..ගොම මැටි පොලොවේ මුල්ලක වැලි තට්ටුවකුත් එවලෙම වැල ගෙඩියකින් ඉවත් කරගත් කොස් ඇට තට්ටුවකුත් වශයෙන් මාරුවෙන් මාරුවට කිහිප විටක් දමා අවසන ඔක්කොම එකවර හොදට වැලි තට්ටුවකින් වසා දමන වැලි කොස් ඇට මුල්ල ගැන මා අම්මාගෙන් දැනගත්තේද මෙහිදීය..බැරි බැරිගාතේ හෝ වංගෙඩියට මෝල්ගහ දමා කොටන්නට උත්සාහ කලේද මෙහිදීය..මිරිස් ගලේ සම්බෝලයක් හදන්නට දැන උගත්තේ මෙහිදීය අන්තිමට ලිපට උඩින් දුම්මැස්සක් දුටු බව මතක ඇත්තේද මෙහි තුලදීය. අම්මාටනම් මොන්ටිසෝරියක් දැම්මා වගේ තියෙන්නට ඇත..අවුරුදු එකේ පරතරය හා දෙකේ පරතරයෙන් ඉපදි අප හය දෙනා ආන්බාන් කිරීමට අම්මා මහත් වෙහෙසක් දරන්නට ඇති බව හිතෙන්නේ දැන්ය..අපි ටිකෙන්ටික ලොකු වී කාලය ගෙවී යන කල අද දවසට ඉතුරුවී අැත්තේ කාලයෙන් කාලයට නවී කරණය වෙමින් කැඩෙමින් සැදෙමින් එදා තිබුණාට වඩා බොහෝ ම සැප පහසු මුලුතැන් ගෙයකි..එහෙත් එදා වගේ එහි පිරෙන්නට පොඩිඑවුන්වත්..තාත්තාවත් අද මහගෙදර නැත..සියල්ල කාලය විසින් අකා මකා දමා ගොස් ඇත.

------------------------------------------------------------------------------------


අපේ ගමට විදුලිය ආවේ එක්දහස් නමසිය අනූ හත වසරේය..එතෙක් අපි රැයට ආලෝකය ලබා ගත්තේ කුප්පි ලාම්පු හා චිමිනි ලාම්පුවල පිහිටෙන්ය. ඒකත් කඩෙන් ගන්නේ චිමිනි ලාම්පුව පමණි...කුප්පි ලාම්පුවක් නම් මූඩිය ඇති පොඩි කුප්පියක මූඩිය මැදින් හිල්කර එ් මැදින් රෝල්කරගත් පොඩි ටකරන් පතුරු කෑල්ලක් රිංගවා එතුලින් තිරයක් දමා ක්ෂණිකව හදා ගැනීමට ගමේ කවුරුත් පාහේ දැන සිටියහ. මා පොඩි දවස

අපේ ගෙදර කුස්සියේ ලෑලිවලින් ලොකු රාක්කයක් බිත්තියට සවි කර තිබුණේය.ඒකේ ඉස්සර මට හැමදාමත් බැලුවට එපා නොවන භාණ්ඩ දෙකක් විය. එකක් පුංචිම පුංචි කොළපාට චිමිනියක් සහිත ලාම්පුවකි. අනෙක යට කොටස පිත්තලෙන් හැදුනු තරමක් ලොකු චිමිනි ලාම්පුවකි. මීදුම බැදුනාක්මෙන් අමුතු සුදු පැහැයකින් යුතු රවුම් හැඩයක් ගත් චිමිනියේ උඩ සහ යට යන්තම් රැලිගතියක් තිබුණා වාගේ මතකයක් ඇත. එහෙත් කවදාවත් එය පත්තු කරනවා දැක නැත..අම්මා කිව්වේ කැඩී ඇති බව පමණි..කාලය ගත වෙනකොට එ්වාට මොනවා වුනාදැයි කියා මතකයක්ම නැත. පොඩි දවසත් ලොකු දවසක්
ලාම්පුවල චිමිනිය අපි අතින් නිතර බිදෙන්නේය...ඒ ලාම්පුව උස්සාගෙන එහෙ මෙහෙ යන්න හදන කොටය.නැතිනම් චිමිනිය සෝදන්නට ගොස්ය. තාත්තා පුංචි පුනීලයක උදව්වෙන් ලාම්පුතෙල් පුරවයි.කාලයක් කොළ පාට ලාම්පුතෙලුත් කාලයක් නිල්පාට තෙලුත් තිබුණා මතකය.එදවස මට හිතුනේ ආණ්ඩු මාරු වෙනකොට ලාම්පුතෙල්.පාටද වෙනස් වන බව කියාය...
තාත්තා අපි නිසාම නිතර කඩෙන් චිමිනි ගෙනෙන්නේය. දවසක් සිංහල අවුරුද්දක වැඩ ඇල්ලීමේ නැකතට පාඩම් පොතක් කියවන්න කියා ලාම්පුවත් රැගෙන කවුරුත් නැති තැනකට යන්න ගියේය. නැකැත් වෙලාව ලගටම විත් ඇති නිසා කලබලවුන පාරට දොර රෙද්ද ගැන අමතක විය. එහි පටැලුණු චිමිනිය සලාං හඩිං බිම වැටුනෙත් නැකත උදාවුන බව කියවුනෙත් එකටමය..මම එ් අවුරුද්දට වැඩ ඇල්ලුවේ ලාම්පුවේ චිමිනිය කුඩුකරලාය.
විදුලිය ගමට එන්න පෙර රාත්‍රිය හරිම නිහඩය..හීන් හඩින් ඇහුණු රේඩියෝවක හඩ විනා අද මෙන් මැදියම් රැය වෙන තෙක් රූපවාහිනී කැසට් හා වෙනත් ශබ්දවාහිනී හඩ තැලුවේ නැත. අද මෙන් මහ හුගක් රෑ වෙනකන් නිදි මැරුවේද නැත. නිවැසියෝද දවසේ වැඩ ඉක්මනින් ඉවරකර නිදි සුවය සෙව්වෝය..අපට නින්ද යනකන් අම්මා කතන්දර කිව්වාය. නිහඩ අඳුර මැද පළගැටියෝ හිතන්න බැරි තරම් ගීත ගැයුවෝය..ඈතින් ඇහෙන නරි හූවත් බකමූණන්ගේ හ්ම් හඩත් විටෙක ලස්සනය. තාලයක් නැතත් ඉද හිටක ඇහෙන ඉලංගෙ අයියාගේ බටනලා හඩත් ඒ වෙලාවට මසුරංය. වෙනකක් තියා හුළඟ හමන හැටි පවාඇසුණේය.
එදවස අම්මලා කියන්නේ බකමූණන් හා නරියන්ගේ කෑ ගෑමට එකතුව එකවිටම බල්ලනුත් උඩ බිරුවහොත් ගමේ මරණයක් සිදුවන බවය..ඒත් කවදාවත් එහෙම වුනේ නැතිය. 
රැය ගෙවී ගෙන යනකොට තවත් දවසක උදාව ගමට කියන්නේ නෝනි අක්කලාගේ රතු කුකුළාය..හරියටම හතරට හඩලන කුකුලාගේ හඩ එදවස අම්මාට එලාම් එකක් බඳුය. කුප්පිලාම්පුවක් පත්තු කරගන්නා අම්මා උදේ වරුවේ වැඩ කොටස ඉවර කරන්නේ කිසිම ගනිච්චියක් නැතිවය. කාලය ගෙවී අපි ලොකු මහත් වෙන විට පොඩි දවසේ ජීවන රටාව ටිකෙන් ටික වෙනස් වෙමින් ආ ගමන අක්කලා අයියා රැකියා සඳහා හා විවාහය නිසාත් ගෙදරින් පිටවූ තැන ගෙදර ඉතිරිවූ අපගේ හිත්වල ලොකු හිස්තැනක් ඉතිරී ගියේය. විදුලිය ගමට ආ පසු ගමේ හැමගේම රාත්‍රිය ගෙවුන රටාව වෙනස්වෙන්නට ඇත. වටපිටාවද වෙනස්වී ඇතුවාක්මෙන්ය. විදුලි එලියෙන් අදුරට සරිලන එලියක් ලැබුණද නොයෙකුත් ආකාරයේ පහසුකම් ලැබුණද නිහඩ බව තුල ගිලිණු සුන්දරත්වය පලා ගිය තැනින් ආයෙ කවදාවත් එලියට ආවේ නැත. අදද චිමිනි ලාම්පුවක් ගෙදර ඇත..නිතරඟයෙන්ම පැත්තකට වී අතීත මතකයන්ට පමණක් පණ පොවන මතක වස්තුවක් පමණක් බවට එය පත්වී ඇත.

(ප්‍රියංකා නානායක්කාර )

Thursday, August 24, 2017

කුඹුකේ ලිඳේ සීතල සෙවනේ ...

නිතරෝම සුරා මේරය කට ගාන අල්ලපු වත්තේ සිරිසේන අයියා මීට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දවසක හරි ලස්සනට වත්ත සැරසුවේය..ඒ ඔහුගේ ඇඹේණිය කුවෙට් සිට පැමිණි පලමුවරය..මුලු වත්තේම තිබුණු ගස් දෙබල්, ගල්, පස්කදු , හුඹස්, ගහන්න පුලුවන් හැමතැනකම ඉටිපන්දම් පත්තු කර ගැසුවේය...කලුවරේ ඉටිපන්දම් එලි පෙනුනේ හරියට තරුපිරි අහසෙන් උන්දෑගේ වත්තට කුට්ටියක් කඩාගෙන වැටුනා වගේය. ඊට පසු කිසි දිනක ඒ ගෙදර වෙසක් සැරසිල්ලක් නොදුටුවේය...අවුරුද්දට කෑ නොගහා කොහා මඟ හැරියා මෙන්ම වෙසක් මහට පෙර හතරවටින් ඇහි රෑහි නාදය මේ වෙනකොට නැත්තටම නැතිවී ගොස් ඇතිවාක් මෙන්ම සිරිසෙන අයියාගේ නෝනාද සිරිසේන අයියාවත් ගෙදරත් දෙකම මේ වන විට මඟ හැර ගොස් තිබුණාය..
හැමදේම මතක්වෙන අල්ලපනල්ලේ ඒකත් මතක් වුනාට කියන්නට ගියේ වෙන දෙයකි, ඒ අපේ ගෙදර වෙසක් ගැනය..
ඉස්සර අපි හැමෝම එකතුව වෙසක් කූඩු හදන්නේ හරිම සතුටෙනි..හතරස් පෙට්ටිද..අටපට්ටම්ද..තරුද..රවුම්ද..හැම එකම එක එක ගාණටය..ලොකුම කූඩුව හදන්නේ අයියාය. 
තාත්තා කූඩු සාදන්නෙ නැත..ඉරටු හෝ තල කූරූ සොයා ගෙනවිත් ටිකක් ලොකු මල්පෙති හැඩයට නමා ලීයක් වටකර මලක් හැඩයට බදින්නේය..රෝස පාට සව්කොල ගෙනවිත් පෙති පහ වෙන වෙනම අලවාගත් කල අලංකාර වෙසක් මලක් නිමවෙලාය..ඒ මැදට ඉටිපන්දමක් ගහයි...මෙවන් මල් හත අටක් සාදා මිදුල වටටම හිටවයි...අපේ වත්තේ එදවස මහ ගොඩක් පැපොල් ගස්ද විය..එයින් ලේබ නැතිව ගෙඩි කඩා ගන්නා තාත්තා ඒවා දෙකට පලා මදය සූරා දමයි..ඉන්පසු එතුලට පොල්තෙල් පුරවා පහන් වැටි දමා එක එක හැඩයට මිදුල පුරා තබා දල්වාලයි.පිලිවෙලකට ඇද ඇති ලණු දිගට පාට පාට බකට්ය..වෙසක් දවසෙ රෑ මිදුල පුදුම ලස්සනය..අද මෙන් පාට පාට බල්බ් වැල් එදා තිබුනේ නැත. එලිය පුරාම බල්බ් දල්වා අද මෙන් ගෙවල් ඇතුලට වී දොර වසාගෙන හිටියේද නැත. පත්තු කල වෙසක් කූඩුවල..බකට්වල ඉටිපන්දම් නිවෙනකන් ඒවාගේ ලස්සන බල බලා හද එලියේ මිදුලටම වී උන්නේය..ඒ එදා හැටිය..

------------------------------------------------------------------------------------------

අපේ ගමේ උල්පත තිබුණේ මහ කුඹුක් ගහක් මුලමය..දහ දෙනෙකුවත් දෑත විදා හැදූ රවුමකින් විනා එක්කෙනෙකුට දෙන්නෙකුනම් එය බදා ඇල්ලිය නොහැකි තරමටම කුඹක් ගහ විශාල බව හොදහැටි මතකය. එදවස අපි නාන්නට යන්නේ ද අපේ අම්මලා ගෙදරට වතුර ගේන්නේද මේ උල්පතෙන්ය..ගලාගෙන යන පැහැදිලි වතුර ඇතුලේ එහේ මෙහේ දගලන මාළුවෝ කකුල් දෙකට කොටන විට ඇතිවෙන කිතිය වලකාගන්නට අපි කොතෙකුත් උඩ පනින්නෙමු...අම්මා රෙදි හෝදන තෙක්ම අපි කරන්නේ මාළු පැටවු අල්ලා බාල්දියට එකතු කරන එකය. කුඹුක් ගෙඩි අහුලා ඇලට විසි කරන එකය. වතුර යට ඇති රතු පැහැ ගල් අහුලන එකය..ඒ ඔක්කොම එපාවූ කල කර වටක් වතුරේ ඉදගෙන දියබුං ගැසීමය.
තාත්තා එක්ක ආවම එහෙම නටන්නට බැරිය.තාත්තා එක්ක නාන්න එන්න අහුවෙන්නේත් චූටි අක්කාත් මල්ලීත් මාත්ය. ඉස්සර තාත්තාට ලොකූ බාල්දියක් තිබුණේය..අපි ඒකට හරි බයය..තාත්තා අපි තුන්දෙනා රවුමට හිදුවා අර ලොකු බාල්දියෙන් මාරුවෙන් මාරුවට වතුර වක්කරගෙන වක්කරගෙන යන්නේය..අපව නහවා ගෙදර එවා රෙදිද හෝදාගෙන තාත්තා නා එන්නෙ අපට පසුවය..නියර පිට එද්දී දවසක් මා වෙලට වැටුනාද මතකය. වෙල අහවර වෙන තැන වැටකෙයා ගාලත් එක්කම පාලම් දණ්ඩ වෙයි.. ඉන්නා සත්තු ඔක්කොම එතනය..කොක්කු, කොරවක්කු, දිය නයි,කබරගොයි, පිලිහුඩුවෝ.. රංචු ගැහුණු පුංචි ගොයම් කුරුල්ලෝ, හරි ලස්සනය,
දවසක් හැන්දෑවක ගෙදර ලඟ යසෝ අක්කා ගමටම ඇහෙන්න බෙදු .. පණිවිඩයක් ගෙන ආවාය. ඒ කුඹුක් ගහ ඉදිරී වැටී ඇති බවය. හිටපු හිටපු ගමන් හැමෝම දිව්වේ උල්පතටය. දැවැන්ත හස්තියෙක් පැත්ත වැටී සිටින්නාක් මෙන් එතෙක් කල් සෙවන දුන් උල්පතට කිසිම හානියක් නොකරම කුඹුක් ගහ ඉදිරී වැටී තිබුණේය..ගහක් වෙනුවෙන් මුළු ගමක් දුක්වුනානම සුසුම් හෙලුවානම් ඒ මේ කුඹුක් ගහ නිසාමය.ගම් වැසියන් එයට එතරම් ආදරය කලාදැයි හිතුනේ එදාය. අවුරුදු සීයකටත් වඩා වයස ඒ වෘක්ෂ රාජයාගේ නික්මීමත් සමග සුන්දර ලෙස තිබුණ ,අපේ උල්පතේ අවසානය ද ටිකෙන් ටික පැමිණි බව පමණක් හොද හැටිම මතකය .අද ඇත්තේ ඒ සුන්දර මතක ගුලි කරගත්, විටෙන් විට එන එන රජයේ නා නා විධ ප්‍රතිසංස්කරණයන්ට අසුවී ස්වාභාවික බව එහෙන් පිටින්ම කෙලසාදැමූ අස්වාබාවිකව ලෙස සිමෙන්ති බැමි පමණක් ඉස්මතුවූදිය වලක් මෙන් තැනකි. එහෙත් අපි විදි හා දැකි සුන්දර වට පිටාවක හා සුන්දර දිය බුබුලක මතකය තාමත් හිත තුලය,

(ප්‍රියංකා නානායක්කාර )

Tuesday, August 15, 2017

කණාමැදිරියෝ


ඉස්සර අපේ මිදුලට හොදට පේන හා මට හොදටම මතක ගස් හතරක් තිබුණි..එකක් ඩෝරා අක්කගේ වත්තේ බදුල්ල ගහය. අනික ඒ වත්තෙම ඉහල කෙලවරේ තිබුණු රුක් අත්තන ගහය..ගෙට පහලින් නෙල්බෑ ගහත් පාරෙගෙදර විසල් අඹ ගහත් මේ අතරය.
දහවල් කාලයේ වෙනසක් නැතත් ගොම්මන් අදුරත් සමඟම මේ ගස් මට විසේසය. කොතෙන් දැක ඇතත් හවසට ඒවායේ අතු ඉති සැකසී ඇති හැඩ අනුව මම හිතින් විවිධ රූප මවාගනිමි..බල්ලෝ කුරුල්ලෝ..අතපය දිගහැරගත් මිනිස්සු..මේ අතු හැඩ අතර මට මැවී පෙනෙන්නට පටන් ගනියි.
කලුවර වැටුන පසු මේ ගස් වඩාත් ලස්සන කරන පිරිසක් සිටියෝය. දිලිහෙන රන්වන් රෙද්දක් ඇතිරුවාක් මෙන් කණාමැදිරියෝ දහ දහස් ගනණන් මේ ගස්වල කොළ අතු ඉති වසාගනියි. බලන්න ලස්සනය. හුළගක් එනවිට විසිරී යන උන් නැවත ගහට ඇලෙති.මිදුල පුරාද එහෙම මෙහෙ යන පුංචි පුංචි එලි එමටය..එදවස කණාමැදිරියන් අල්ලා දෙන්නැයි තාත්තාට බොහෝ ඇවටිලි කලා ද මතකය.එවිට තාත්තා විනිවිද පෙනෙන බෝතලයකට බොහොම ප්‍රවේශමෙන් හත් අට දෙනෙකු අල්ලා දමා දෙන්නේය..අපේ සතුටේ නිමක් නැත..එහෙත් අම්මා එදවස කියන්නේ උන් කෑවාම බෙහෙත් කරන්න මුහුදෙ මඩත් අහසෙ තරුත් මෝල්ගහෙ දලුත් ඕනෑ බවය. ඒ දේවල් කල නොහැකි බව පමණක් වැටහෙන හෙයින් අපි උන් ඇල්ලීමට බියක් දැක්වීය.
ඇතැම් විට අම්මලා එදවස එසේ කියන්නට ඇත්තේ අහිංසක සතුන්ට අපෙන් වන හිරිහැර කරදරවලින් මුදවා ගැනීමට විය හැකිය..කෙසේ වෙතදු අද කණාමැදිරියෝ එකෙක් දෙකෙක් හුදකලාවේ එහෙට මෙහෙට පාවෙනවා පමණක් දකින මට එදා දුටු කණමැදිරියෝ, පලසක් මෙන් ගස් වසා සිටි අපූර‍ැව මතකයට නිතර එයි


මීට අවුරුදු තිස් පහකට ඉස්සර පෙට්ටගමක හැඩයට හදපු තරමක ලොකු ලෑලි පෙට්ටියක් අපේ ගෙදර තිබුණා.ඒ කියන්නෙ මගේ මතකය ඇති කාලේ.දැන් කාලෙ වගේ ඒ දවස්වල අපේ ගම්වල පිගන් බඩු දාන්න වෙනම අල්මාරියි වීදුරුබඩු දාන්න වෙනම අල්මාරියි තිබුණෙ නෑ .අපේ අම්මා ඔය ලී පෙට්ටියේ ලස්සනට පරිස්සමට පිගන් කෝප්ප..වීදුරු ඔය තව තිබුණ විච්චූරණ බඩු අහුරලා තිබුණා..එලියෙ තිබුණනම් ඒවයේ කෑලි අහුලන්න වෙ බව අම්මා හොදාකාරාව දන්න හින්දම වෙන්න ඇති..පුංචි පුංචිවට හිටි අපි හයදෙනෙක්ගෙ තරම ඉතිං අම්ම ඇරෙන්න වෙන කවුද දන්නෙ..
ඒ වුනාට ඉතිං අම්මා එහෙ මෙහෙ වෙනකන් ඉදලා අපිත් අදින්නෙ ඕකමයි..ඒ අදින වෙලාවට හැමදාමත් අතට අරන් බලන දෙයක් තිබුණා..ඔන්න ඔය පහතින් තියෙන බෝතල් දෙක..අම්මා කිව්වේ අයියගෙයි අක්කගෙයි කිරි බෝතල් දෙක කියලා..මට ඒ දවස්වල හිතාගන්න බෑ බෝතලේ දෙපැත්තෙම කටවල් දෙකක් තියෙද්දි කිරි පුරවන්නෙ කොහොමද කියලා..අනික කිරි බෝතලේ හදපු මිනිස්සු ඇයි මේ කටවල් දෙකක් දාලා බෝතලේ හැදුවෙ කියලා...ඔ්ව හිත හිත ඉන්නකොට අම්මා ඇවිත් ආයෙත් ඒක අරන් අර පෙට්ටියට දාලා වහනවා..අම්ම නම් කිව්වෙ එක පැත්තකට හිල් නොකරපු සූප්පුවකුත් අනිත් පැත්තට හිල් කරපු සූප්පුවකුත් ගහලා ගත්තා කියලා..මේ බෝතල් දෙක අරන් තියෙන්නේ 1964. අපේ මහගෙදරට මෙයාලා ඇවිත් අවුරුදු පනස් තුනක් විතර..ඒ වුනත් අම්මගෙ පරිස්සම හින්දා තාමත් තියෙනවා..කොහොම වුනත් මට අදටත් හිතාගන්න බෑ ඇයි මේ කිරි බෝතලේට දෙපැත්තෙන්ම කටවල් දෙකක් දාලා හදලා තියෙන්නෙ කියලා..

(ප්‍රියංකා නානායක්කාර )

Tuesday, August 8, 2017

කෙසෙල් සුවඳ



අද වගේ නොව ඉස්සර මාර්තු මාසේ මැද හරිය එනකොටම අවුරුදු සිරි ඇගට දැනෙන්නේය. ගමේ ගෙවල අද වගේ පාට පාට බිත්ති තිබුණේ නැත. හැමෝම ගෑවේ සුදු හුණුය...ඒකත් ලේසි නැත.
කැද නිල් දමා හදාගන්නා තුරුම ලොකු කෙරුවාවක් කරන්නට ඇත.
නිතර දෙවේලේ කෑ මොර දෙන කොහා කුරුල්ලෝ හිටියෙත් ඉස්සරය. උන්ට ඔච්චම් කරන්නට ..උන් එක්ක තරගෙට කොහෝ කියන්නට කොල්ලො කුරුට්ටොද ඇති තරම් ගෙවල්වල හිටියේය.
අපිට අලුත් ඇදුම් මැහුවේ අම්මාය. අම්මාගෙ ඇුදුම් හරි හැඩය.. රෙදි ගන්නේ ගමේ සමූපකාරයෙන්ය. දවසක් මල්ලී හා පැටවු ඉන්නා රෙද්දකින් කමිසයක් මසා දෙන ලෙස කියමින් බිම පෙරලී ඇඩූ හැටි මට තාම මතකය.
ගම පුරාම තනි මෝලෙන් හා දෙමෝ
ලෙන් පිටි කොටන හඩ ඇහෙන්නෙ පාන්දර හිටය.උණ බට වෙඩි පිඹින්නට ගොස් කොල්ලෝ කැහි වාට්ටුවේ දැම්මා වගේය..දවසක් අයියා පොල් කට්ටක ගසා රතිඤ්ඤාවක් පත්තු කර තාත්තාගෙන් හොදහැටි බැනුම් ඇසුවේඒ පොල් කටුව උඩ යන හැටි බලන්නය...එකල කොල්ලන්ටත් තිබුණේ පුදුම ආසාවල්ය.
එපා වෙන්නේ කැවුම් කන්න එන කෝදුරුවන් මුහුණ වටේ කරකැවෙන එකටය. එහෙම කියන ලොකු අම්මා ඉස්සරවෙලාම බදින කැවුම් ගෙඩිය..කොදුරුවන්ට යැයි කියමින් පැත්තකින් තියයි.අපි කරන්නේ ඒක නූලකින් දර මැස්සෙ එල්ලන එකය.
එදා අවුරුදු ගැනනම් බොහෝ මතක ඇත. ඒවා අද වගේ ඇගට නොදැනි ගෙවී ගියේ නැත...වංගෙඩිය පැත්තක දා මෝලෙන් පිටි කොටාගෙන විත් පුරුද්දෙන් ගැලවෙන්න මෙන් අද උයන කැවුම් ගෙඩිය ද තව නොබෝ කලකින්ම ගැමි ගෙදරිනුත් එලියට බස යන්නටම යනවා ඇත.










ඉස්සර අවුරදු කාලෙට අපේ තාත්තා වත්තෙන්ම කපාගත් කෙහෙල් කැන් දෙක තුනක් වලක දමා දුම් ගසන්නේය. තාම මතකය...කැපූ වලේ අඩියට කාමරංගා හෝ බිලින් හෝ කැප්පෙටියා හෝ දමා ඒ උඩින් සීරුවට කෙහෙල් ඇවරි තැබුවේය .පොඩි කැනක් නම් ඇවරි නොගසාම තිබ්බේය. ඊට පසු ඊට උඩින් ආයෙමත් කොල අතු තට්ටුවක් දැම්මේය
ලෑලි වලින් හෝ ටකරමකින් වලෙහි කට වසා එක තැනකින් සිදුරක් ඉතුරු කර හොදට පස් දමා වල වසා දැම්මේය..ඉතුරු කරපු සිදුරට උදලුමිටේ් ගසා පොල් කටුවක් සිදුරු කර තබා එයට පොල් මුඩු පුරවන්නේය..අපිට වැඩ ඇති හරිය එන්නේ ඉන්පසුවය.තාත්තා අර පොල් කටුව තුල ඇති පොල් මුඩුවලට ගින්දර තබා ටික වෙලාවකින් නිවන්නේය..කොලපත් කැබැල්ලකින් හෝ කුල්ලෙන් හෝ් වල ඇතුලට යන විදිහට හුළං ගසන්නට පටන් ගන්නා විටම..අපේ රාජකාරිය වෙන්නේ..පස් ගොඩෙන් දුම් මතුවෙන තැන් හොයන එකය..එක තැනක් හෝ දුටුවහොත් ඊට වඩා සන්තෝසයක් නැත..ඉක්මනටම පස් ටිකක් එතනට දමා තද කරන්නේය..දවස් හතර පහකින් තාත්තා ආයෙම සීරුවට වල අරින්නේය. බලන්න ලස්සනය..කම කහපාට මල් පිපුණා වගේය..තාත්තා වලෙන් ගොඩ තියෙන කෙහෙල් අැවරි සීරු මාරුවට අපි ගෙනහින් කුස්සියෙන් තබන්නෙමු..ඇවරි නොකැපු කෙහෙල් කැන ගෙන එන තාත්තා එය කස්සියේ කොණකට වෙන්න වහලයේ එල්ලන්නෙය, 

ඉතිං අවුරුදු සුවද ගේ පුරා ඉතිරෙන්නේ තනිවම හැමූ කැවුම් සුවඳට කෙසෙල් සුවඳ ත් එකතු වූ පසුවය.

(ප්‍රියංකා නානායක්කාර )

Tuesday, July 25, 2017

ඉතින් ඊට පස්සේ



අපේ අයියා කුඩා කල, කතා කරන කොට වචන පටැලවෙන ගතියක් තිබී ඇත. දොස්තර මහතෙකු තාත්තා හට කියා ඇත්තේ අයියාට චිත්‍රකතා පොත් හා පත්තර ගෙනත් දී හඩනගා කියවන්නට දෙන ලෙසය. තාත්තාද එදේ කර ඇත. කල් යත්ම අයියාගේ එම අඩුපාඩුව ඉක්මනටම මඟ හැරී ගිය බව අම්මා පැවසුවාය.
ඒ නිසාම අලුතෙන් එන හැම චිත්‍රකතා පත්තරයක්ම අපේ ගෙදරට ගෙනවිත් ඇත. මට මතක ඇති කාලයේ තිබූ සිත්තර, සතුට, මධුර, සුවද, සත්සිරි,වගේ ඒවාද තාත්තා එකක්වත් අතෑරියේ නැත. ඒකත් හරි අපූරුය..පත්තරය ගෙට ආ සැනින් කොල හතර හතරදෙනෙකු අතට බෙදී යයි..එක්කෙනෙක් කියවා අවසන් වන තුරු අනෙක් හතරදෙනා බලා සිටියි..සිත්තර පත්තරය ගෙනාදාට, තාත්තා කැමතිම කතාව වූ ස්පාටකස් පිටුව පලමුව ඔහුට දිය යුතුය.
මේ හැරෙන්න්නට සති අන්ත ප්‍රවෘත්ති පත්තර වල ගිය චිත්‍රකතා කපා පොතක අලවා තැබුවේය. හරි ලස්සනය.
වෙද හාමුදුරුවෝ, පැන්ටම්, සෙනෙහසක කඳුළු, සත්වෙනිි දවස, බකට් හැරී, බකට් හැරී ආපහු එයි..පෙති ගෝමර..අදටත් මතකය. කී සැරයක් කියෙව්වාදැයි මතක නැත. ඒවා ඒ තරමට කියෙව්වේය.
මේවා අපිට හරිම ආදරණීය සුන්දර වස්තු ම විය..අපි ලොකු මහත් වූ පසුත් අයියා, අක්කා සහ අම්මා මේවා පරිස්සමට රැකබලාගත්තේය. එහෙත් මහගෙදර අළුත් වැඩියා කිරීමේදී බිම එක තැනකට කර ලොඩ ගසා තිබුණු මාසයක් පමණ කාලයේ වේයෝ මෙයින් බොහෝ ප්‍රමාණයක් ආහාරයට ගෙන අපගේ සුන්දර මතක වස්තු සියල්ල විනාශ කර දැම්මේය..

මගේ මතකය අවදි කරගත හැකි වයසේ සිටම අපේ ගෙදර තිබුණේ පුංචි රොලන්කා වර්ගයේ ගුවන් විදුලි යන්ත්‍රයකි. තද දුඹුරු හා රන්වන් පැහැයෙන් යුතු එය අසූව දශකයේ මුල හරිය වෙනතාක්ම අපිට මහගු වස්තුවක් විය. එදවස විදුලිය නැත. බැටරි කෑලි හතරක් සතියකට සැරයක්වත් දැමිය යුතුය. කාලයේ හැටියට එකත් තාත්තාගේ ඇගට දැනෙන වියදමකි..එහෙත් අසන්නේ නැතුවත් බැරිය.ඒක නිසාම කුරු කුරු ගගා බැටරි පොල්ල තුල ඕජස් ගලන තුරුම තියෙන ඒවලින්ම අසන්නේ්ය. බැරිම තැනකදී තාත්තා නැති වෙලාවට විදුලි පන්දමේ බැටරි කෑලි ටිකද රේඩියෝව ඇතුලේය...තාත්තා එන වෙලාවට ආයෙම විදුලි පන්දමේය..එහෙත් රෑට හොර එලිවී ජරමර ගොඩය. විදුලි පන්දමේ එලිය අඩුවී ඇත.
එකල අපි වඩාත්ම ප්‍රිය කලේ ගුවන් විදුලි නාට්‍ය ඇසීමය. හය හමාර හත වෙනකොට හැවොම රේඩියෝ එක වටාය. නාට්‍යයක් අහන්න අල්ල ගත්තා කියන්නේ අතාරින්නට බැරි පුරුද්දකට ඇබ්බැහි වුනා වගේය..එක දවසක් අසන්නට බැරි වුනොත් උණ වගේය..ඒකත් හරි ලස්සන වැඩකි.මේවා අහන්නට එක එක්කෙනා පුටුද , එ්වා තියාගන්නා තැන්ද වෙන් කරගෙන තිබුණේය. නැතිනම් හිතේ හැටියට නාට්‍ය කනට ඇහෙන්නේ නැත. ඇස් දෙකේ කළුවා, ගජමුතු හි මුතූ , මුවන්පැලැස්සේ කදිරා සුගන්දිකාහි සුගලා, ගේ කුරුළු ගීතයේ සංඝමිත්තා තවමත් මතක හිතේ හැටියට එහෙම ඇහුව නිසා වෙන්නට ඇත.
පොඩි අක්කාගේ පුරුද්ද වුනේ රේඩියෝ එක ලගම හිස තියාගෙන ඇසීමය. අම්මා කොපමණ බැන්නත් ඇගේ පුරුද්ද වෙනස් වුනේ නැත. අහස ගොරවන විට රේඩියෝ එක අහන එක තාත්තා තහනම් කර තිබුණි. එදවසට හිතට හරි නැත. දවසක් පොඩි අක්කා ඒ තහනම අමතක කර රේඩියෝව අසන්නට ගොස් තාත්තා රේඩියෝවේ බැටරි පොල්ල ගලවා ගේ ඉස්සරහා ඇති රබර්වත්තටම විසි කලේය.
උදේම නැගිටින තාත්තාගේ අතින්
හැඩවෙන රේඩියෝවේ මට මතක උදාගීත යන වෙලාවය..ඉස්කෝලෙ යන්නට ලෑස්තිවෙන අතරේ ලස්සන ලස්සන සිංදු ගොඩක් ඇහෙන්නේය. නන්දා මාලනිය, ටීඑම්,නීලා එඩ්වඩ්, ගයන ගීත අසා පිබිදෙන හිතෙන් ඉස්කෝලෙටම දුවන්න තරම් පණක් නැගෙන්නේය. ඒ එදවසය.
අද විදුලිය ඇත නවීන අංගෝපාංගවලින් හැඩවී එදාා තිබුණ රේඩියෝවට වඩා හතරපස් ගුණයක් ලොකු රේඩියෝවක් ද ඇත. එහෙත් එදා වගේ අහන්න ලස්සන දේවල් නැත. දුක එතනය.

(ප්‍රියංකා නානායක්කාර )
.

Thursday, July 20, 2017

මදිටිය ඇට


ගෙට පහලින් පොල්වත්ත දිගේ හාමුදුරුවරු ගමන් කරනවත්, අම්මාත් චූටි අක්කාත් ඒ පිටුපසින් යන්න හදන කොට මාවත් අරන් යන ලෙස කියමින් අම්මාගේ ඇගේ වෙලී අඩනවාත් මට මතකය.එවිට තාත්තා ඇවිත් මාව වඩාගෙන ගෙට ඉහලින් ඇති රබර්වත්තට යනවාත්, එහිදී කැරලි ගැහැණු කොණ්ඩයකින් සහ කරුණාවන්ත සිනාවකින් යුතු අයෙක් මදිටිය කරල් පොකුරක් මට කඩා දුන්නාත් මතකය.මගේ ඇඩිල්ල නතරවූ තැන ආපහු ගෙදර ආ තාත්තා ඒ මදිටිය ඇට ගලවා සුදු බොතලයකින් එකක් පුරවා දුන්නාත් එය මා බොහෝ කල් ආසාවෙන් සුරැකි බවත් මතකය.
අම්මා නම් කියන්නෙ..ඒ වත්තෙ අත්තම්මාගේ ස්වාමියාවූ වත්තෙ අත්තාගේ මළගෙදර අවසන් දවස බවය.ඒ වන විට මගේ වයස අවුරුදු තුනක් පමණ වන බවත්..මදිටිය කඩා දුන් පුදගලයා කදිරවේලු බවත් ඇය කිව්වාය. 
රතු පාට මදිටිය ඇට දිහා බලාගෙන මා බොහෝ වාරයක් සැනසෙන්නට ඇත.
තාත්තා එහෙමය..අහලින් පහලින් හොයාගත් දෙයින් අපේ සිත් බොහොම සතුටු කලේය..විටෙක පොල් කොළ බඹරයක් හදා පොල් කූරක් ගසා එයට පැපොල් බටයක් රිංගවා දුන්නේය..ඉතිං අපි මිදුල වටටම දුන්නේය. තවත් විටෙක නලාවක් ද ..ගල් පෙට්ටියක්ද හදා දෙයි.ටින් පියනක් හොගෙන විත් කොටුවකට ගසා දෙයි..තව ටින් එකකින් මලක් කපා ඇනයකින් අර ටින් පියනේ දාරය මත වදින්නට සවි කරයි..එව්ට තල්ලු කරන් යනවිට උඩ ටින් මල බොහොම අපූරුවට කැරකෙයි..තවත් විටෙක රබර් ඇට බඹරෙක් හදයි..පොල් කටුවක් කපා..බිම ගසන බඹරෙක් හදයි.පොල්පිත්තකින් හරකෙක් කපයි. රබර් පොතු දෙකක් එකට අමුණා කටින් පිඹිනකොට කැරකෙන රබර් පොතු බඹරෙක් හදයි.හරි පුදුමය..අද මෙන් වයින්...රිමෝට්..උඩයන, බිම කැරකෙන නේක නේක රටවලින් ගෙන්නන සෙල්ලම් බඩු අපට තිබුණේ නැත...ඒත් අපිත් සතුටු විය.
අද වෙනකොට වත්තෙ අත්තම්මා. අත්තා , කදිරවේලු , තාත්තා..ද නැත, එමෙන්ම, පොල්කොළ, රබර් ඇට බඹරුන්ද ගල් පෙට්ටිද පොල්පිති හරකුන් වගේ අපේ කාලයේ අපි පිනවු සුන්දර දේද අමතකව ඇත..ඒත් බෙහෝ දේ මතකයක පමණක් සිරකෙරූ කාලයේ වෙනස පමණක්ම ඉතිරිව ඇත.

(ප්‍රියංකා නානායක්කාර )

Wednesday, July 19, 2017

"රන්වන් අහස සළු පොරවා ඈත කොනේ"


මගේ මතක (01)
වෙන අවුරුදුවල නම් අප්ප්‍රේල් මාසෙ එනකොට රබර් ගස්වල අලුත් දළු පොකුරු අතරේ පුංචි පුංචි සුදු පාට මල් ගොඩාරියකුත් පිපිලා තියෙනවා...ඉර බැහැගෙන යන හැන්දෑවට ඒ වටා මහ විශාල මී මැස්සෝ රංචුවකුත් දැවටෙනවා...උන්ගේ ගුම් හඩ හුගක් රෑ වෙනකන් තියෙනවත් මතකයි...රන්වන් පාට අවුරැල්ල ඉහිරුණු මිදුල කොණේ පුංචි හාන්සි පුටුවක් තියාගන්න තාත්තා ඒකේ ඉදගෙන චිත්‍ර අදිනවා..ඒ අතරේ ඉද හිට මතක් වෙන කවි යකුත් කියනවා ඒ දවස්වල තාත්තා කිව්ව කවියක් තිබුණා,
රන්වන් අහස සළු පොරවා ඈත කොනේ
බටගොයි යුවල වී අහුලති මිදුල කොනේ
............
ඉතිරි පද දෙක කොයි තරම් මතක් කලත් මට දැන් මතකෙට එන්නෙ නෑ...ඒ දවස්වල වගේ මේ දවස්වල රබර් මලුත් නෑ...මී මැස්සොත් නෑ...අව්වෙ ලස්සනකුත් නෑ...තාත්තගෙ කවිත් නෑ...තාත්තත් නෑ...ඒත් ඒ සුන්දර මතක විතරක් හිත පුරා තාමත් ඒ විදිහටම තියෙනවා
-------------------------------------------------------------------

මගේ මතක (02)
ඉස්සර අපේ ගමේ හැම ගෙදරකම වගේ මිදුලෙ ජෑම් ගහක් හදලා, ඒක යට බංකුවක් ගහලා තිබ්බා...අපේ ගෙදරත් එකක් තිබුණා..ඒක හැදුවෙ තාත්තද මල්ලිද කියලා මතක නෑ... එත් හරි ලස්සනට රවුමට හැදිලා තිබුණා...හැන්දෑවට උදේට ලේනෝ...කුරුල්ලෝ ගෙඩි කන්න ආපුවම
කිචිබිචිය අහන්න ලස්සනයි. අත්තෙන් අත්තට පැන පැන උන් ගෙඩි කන දිහා වරුවක් වුනත් බලාගෙන ඉන්න පුලුවන්.
ඉස්සර අපෙ චූටි අක්කා හැන්දෑවට ඔය ජෑම් ගහ යටට ගිහින් කවි, කතා එහෙම ලියනවා...ඊට පස්සෙ ඒවා පත්තර වලට යවනවා. ඒවා පලවෙනකොට තව තව ලියන්න ගත්තා.අන්තිමේදි එයාට පත්තරේක රස්සාවක් හම්බවෙලා කොළඹට ගියා.ආයේ කොහෙද එයා ජෑම් ගහ යට ඉදගෙන ලියන්න එන්නේ..කොළඹයි පත්තරයි එයාව අයිතිකර ගත්තා..අවුරුදු විසිගාණක් විතර ගෙවිලා ගිහින්. දැන් ගමේ එක ගෙදරක ජෑම් ගහක් නැතිවුනත්, රබර් අතු අග්ගිස්සේ රාස්සිගෙ අව්ව වැතිරෙන හැන්දෑවල් හැම එකකම ජෑම් ගහ..අක්කා..මතක අතරින් එබෙන එක නතරවෙලා නෑ
--------------------------------------------------

මගේ මතක (03)
මැණිකා නෙළයි මැල්ලුමකට අඟුණ කොළ
බර කල්පනාවක වාගෙයි නිවිති වැල "
තව පද දෙකක් තියෙනවා..ඒත් මට මතකයට එන්නෙ නෑ
අපෙ තාත්තා ගෙදර වැඩ අම්මා විතරක් කරනක් කවදාවත් බලාගෙන හිටියේ නෑ..අපි හත් දෙනෙක් එක්ක අම්මා ඔට්ටු අල්ලනකොට, ඉස්කෝලෙ යන්න ඉස්සරවෙලත්, ඉස්කොලෙ අැරලා ආවට පස්සෙත් අම්මා එක්ක හරි හරියට තාත්තත් මහන්සි වුනා. තාත්තට ඕනම දෙයක් හරි රහට උයන්න පුලුවන්. මේ කවි පද දෙක කියන්නේ හැන්දෑවට වත්ත වටේට ඇවිදලා තාත්තා පලා කොළ කඩනකොට. එක එක කොළ ජාති එකතු කරගෙන ඇවිත් සෝදලා කපලා ‍පොල් අඹරලා දාලා රසම රස පලා මැල්ලුමක් හදනවා..හත්පලා කිව්වට ඒකේ පලා ජාති දාහතරකටත් වඩා තියෙන්න ඇති.
ලොකු අම්මලාගෙ උණ පදුර යට බැහැගෙන යන අව්ව හීන් හීන්වට ඉරි ඇදෙන වෙලාවට උල්පතට ගිහින් නාගෙන එන තාත්තා ,හෝදගෙන ආව සරම දෙකොනෙන් අල්ලලා චටාස් ගාලා ගසා දානකොට අව්රැල්ලට විසිරිච්ච වතුර බිංදුවලින් මතුවෙච්ච... ලස්සන දේදුන්න ..තාම මතකයි
-----------------------------------------------------

මගේ මතක (04)

මට මතකයි ඉදි ආප්ප කන්න හිතුනම ඒ දවස්වල අපෙ අම්මා පාන්පිටි අරන් පිරිසිදු රෙදි කෑල්ලක රවුමට බැදලා කඩපිම්ම බැදපු මුට්ටික තියලා වහලා තම්බනවා...පැයක් දෙකක් හොදට තැම්බුණාට පස්සෙ බිමට ගත්තම ගල් ගෙඩිය වගේ..හයි වෙලා.කඩන්න ලේසිනෑ...තැම්බුණු පිටිවලින් එන්නෙ හොද සුවඳක්... වට්ටියක දාල අර පිටි බෝලේ කඩල ආයෙම හලලා ගන්නවා...
තාත්ත තමා ඉදි ආප්ප හදන්නෙ..ඒකට තාත්තම හදාගත්ත තට්ටු තිබුණා. පීරිසියක් තරම් ලොකු ඇති එක තට්ටුවක්. තාත්තා ඉදි ආප්ප හදන අතරේ අම්මා...කිරි අල පිති ඇඹුලක් හදලා තෙම්පරාදුවක් දානවා..සුවඳ හැමතැනම. හරිම රහයි.
දැන් කාලෙ වගේ නිදාගන්නකන් බලන්න ඒ කාලෙ රූප පෙට්ටි තිබුණෙ නෑ. විදුලිය තිබුණෙත් නෑ.
මිදුලෙ තිබුණා දිග බංකුවක්. අම්මයි තාත්තයි අපියි යනවා ඒකට..අහසේ තරු යනවා බලන්න.අහස, හඳ, තරු, වවුලෝ, කලුවර එක්ක කලවම් වුන කිරිපාට හඳ එලිය අපෙ හිතත් එක්ක හරි ලගින් තියන්න ඒ වෙලාවට අම්මටයි තාත්තටයි පුලුවන් වුනා. සමහර විටක අපි දැනුත් දකින අපේ ළමයි තාමත් නොදකින ගොඩක් දේවල්වල සුන්දරත්වය, දකින්න විදින්න අපි හුරුවුනේ එතනින් වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා.

----------------------------------------------------------------
(ප්‍රියංකා නානායක්කාර )