මම පෙර පාසල් ගිහින් නැත. අපේ මල්ලිලාට බාලාංශ පංතිය කියා එකක් තිබුණාට අපිට තිබුණේ කෙලින්ම එකේ පංතියය. ගමේ ඉස්කෝලේ එකේ පංතියට මම ඇතුලත් කරනකොට අපේ තාත්තා එහිම උප ගුරුවරයෙක් වී සිටියේය. එහෙත් මම තුනේ පංතියට යනකොට තාත්තා එහිම මුල්ගුරුවරයා වූයේය. ලොකු අක්කාත් අයියාත් නගරයේ වූ ප්‍රධාන පාසල් දෙකකට ගිය අතර පොඩි අක්කාත් චූටි අක්කාත් මමත් මල්ලීත් තාත්තාගේ පාසලට ගියේය. එහෙත් ළමුන් තුන්සිය පනහක් හාරසීයක් පමණ අතරේ අපි කිසි දවසක විශේස වරප්‍රසාද ලබන්නට ගියේ නැත. තාත්තා කියා පාසල තුල ඔහු සොයා ගියේවත්, අප ඔහුගේ දරුවන් කියා අන් අයට ලොකුකම් පෙන්වීමවත් උත්සාහ කලේ නැත. කොටින්ම අප පාසල තුල මුල්ගුරුවරයා මතක තබාගෙන තත්තාව එහෙම පිටින්ම අමතකර දැම්මා සේය. තාත්තා අල්ලපු පංතියේ ඉන්නා විට ගණන් පහක් වැරදියැයි කියා මා පංතිභාර ගුරුතුමියගෙන් කෝටු පාරවල් පහක් කෑමත්, මල්ලීගේ පංතියේ පිරිමි ළමයෙක් ගැහැණු ළමන්ට අනවශ්‍ය විහිලුවක් කලායැයි වරදට පංතියේම වූ පිරිමි ළමයින් නැගිටුවා තාත්තා කෝටුපාර ගසද්දී මල්ලීටද ගැසූ සිද්දියත් කිසිදාක මට අමතක වන්නේ නැත .
වැසි දවස්වල පාසල් යන්නට පුදුම කැමැත්තක් එකල මට විය. හිතේ හැටියට පංතියේ කතාකරන්නට හිනාවෙන්නට හොදහැටිම පුලුවන් වෙන්නේ එදාටය. ඒත් වැසිදාට හැමදාමත් මුල්ගුරු නියෝගය වන්නේ අපට ගෙදර සිටින ලෙසය. සමහර දාට අපි තාත්තා ගිය පසු ඉස්කෝලෙට යන්නේ අම්මාගේ අවසරය පිටය. එක දවසක මහ දබ වැස්සක අපි තිදෙනාට ගෙදර සිටිනා ලෙස කියා තාත්තා ගියේය. කුඩ මහා ගොඩාක් එදවස ගෙදර තිබුණේත් නැත. චූටි අක්කාත් මල්ලීත් මාත් දිග ඉටිරෙද්දක් යටට වී එලියට බැස්සේ මුල්ගුරු නියෝගය කඩමින්ය. මතක් වෙනකොටත් හිනාය..ඉස්කෝලේ ගේට්ටුව ලගට යනකොට අපේ ඇගේ වතුර ගලන්නේය. දැන් ඇතුලට ගිහින් බැරිය..තාත්තා දකීවියැයි හිතා ආපසු එන්නට පාරට පැන ගලාගෙන යන වතුර පාරවල් වල උඩ පැන පැන අපි ආපහු ගෙදර ආවෙමු..ඒත් මගේ පොත් දෙකක් මඟ මට නොදැනිම වැටී ඇත..මහ ලොකුවට මුල් පිටුවේ ලියා තිබූ නම බැලූ කවුරුන්හෝ එය තාත්තාටම බාරදී තිබුණි. ඉතිං නොපෙනී ආවාට වැඩක් වූයේ නැත. තෙමීගෙන විත්
වහලෙන් ගලන වතුර පිහිල්ලට ඔලුව අල්ලා වැහිවතුරෙන් හොද හැටි නෑවත් එදවස අපිට කිසිම ලෙඩක් නැත. අද වහලයට වැහි වැටෙනකොට කිඹුහුන් අරින්නේ ගෙවල් ඇතුලේ සිටිනා ළමයින්ය.
තාත්තා ඉස්කෝලෙ වත්ත පුරා ගස් වැව්වේය. අරලිය , අඹ, කොස්, තේක්ක, කජු, මේවාගෙන් සමහරක් තවමත් ඉතිරිව තියෙන්නේය..අදද ඒ අරලිය ගස්වල මල් පිපී ඇතිකොට එදා දවස්ද මියගිය තාත්තාද නිරතුරු මතකයට එයි.
පොඩි අක්කා ඉස්කෝලෙ යන්නට හොර බව අම්මාද කියනවා මතකය..හැමදාමත් උදේට වෙන මේ යුද්දය නිසා හරි ජරමරයක් අම්මාට වෙයි.
දවසක් ඉස්කෝලේ යන්නට බැයිනම් ගෙදර ඉදන් සෙල්ලම් කරන්නටත් බෑ කියමින් තාත්තා පොඩිඅක්කාගේ අත්දෙක අල්ලා ගේ ඉදිරියේ තිබූ කෝප්ප පැලයකට තබා රෙදිපටියකින් බැද පාසල් ගියේය..අම්මා වහා අක්කාව ගෙට ගෙන ගියාය.ඒ අප කුඩා කලය.ඊට පසු ඇගේ පාසල් ගමන නතරවූයේ කැළණිය විශ්ව වද්‍යාලයටත් ඇතුලත් වීමෙන් පසුවය
ජීවිතය මේ වගේය...කාලයට ඉඩ දී අපද යන්නේය..මහා ගොඩක් සිද්දි වෙද්දී එකක් දෙකක් කියන්නට හෝ හිතුනේ, තාත්තාගේ ජීවිතේ වැඩිහරියක් ගෙවාහල අපේ පාසල් ජීවිතේ වැඩිහරියක් ගෙවාහල ගමේ ඉස්කෝලය තවමත් කඳු මුදුනේ එදාමෙන්ම අදත් ඇස ගැටෙන නිසාය, සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසුණ තාත්තා පඩිපෙලේ උඩම පඩියේ සිට බලාගෙන ඉන්නා හැටි තාමත් මැවී පෙනෙන නිසාය. කාලය අජීවී බොහෝදේ එලෙසින්ම ඉතුරු කර සජීවි ජීවිත කොපමණ ප්‍රමාණයකින් වෙනස් කර ඇද්දැයි සිතෙන්නේ මෙවන් වෙලාවටය
(ප්‍රියංකා නානායක්කාර )