Wednesday, July 19, 2017

"රන්වන් අහස සළු පොරවා ඈත කොනේ"


මගේ මතක (01)
වෙන අවුරුදුවල නම් අප්ප්‍රේල් මාසෙ එනකොට රබර් ගස්වල අලුත් දළු පොකුරු අතරේ පුංචි පුංචි සුදු පාට මල් ගොඩාරියකුත් පිපිලා තියෙනවා...ඉර බැහැගෙන යන හැන්දෑවට ඒ වටා මහ විශාල මී මැස්සෝ රංචුවකුත් දැවටෙනවා...උන්ගේ ගුම් හඩ හුගක් රෑ වෙනකන් තියෙනවත් මතකයි...රන්වන් පාට අවුරැල්ල ඉහිරුණු මිදුල කොණේ පුංචි හාන්සි පුටුවක් තියාගන්න තාත්තා ඒකේ ඉදගෙන චිත්‍ර අදිනවා..ඒ අතරේ ඉද හිට මතක් වෙන කවි යකුත් කියනවා ඒ දවස්වල තාත්තා කිව්ව කවියක් තිබුණා,
රන්වන් අහස සළු පොරවා ඈත කොනේ
බටගොයි යුවල වී අහුලති මිදුල කොනේ
............
ඉතිරි පද දෙක කොයි තරම් මතක් කලත් මට දැන් මතකෙට එන්නෙ නෑ...ඒ දවස්වල වගේ මේ දවස්වල රබර් මලුත් නෑ...මී මැස්සොත් නෑ...අව්වෙ ලස්සනකුත් නෑ...තාත්තගෙ කවිත් නෑ...තාත්තත් නෑ...ඒත් ඒ සුන්දර මතක විතරක් හිත පුරා තාමත් ඒ විදිහටම තියෙනවා
-------------------------------------------------------------------

මගේ මතක (02)
ඉස්සර අපේ ගමේ හැම ගෙදරකම වගේ මිදුලෙ ජෑම් ගහක් හදලා, ඒක යට බංකුවක් ගහලා තිබ්බා...අපේ ගෙදරත් එකක් තිබුණා..ඒක හැදුවෙ තාත්තද මල්ලිද කියලා මතක නෑ... එත් හරි ලස්සනට රවුමට හැදිලා තිබුණා...හැන්දෑවට උදේට ලේනෝ...කුරුල්ලෝ ගෙඩි කන්න ආපුවම
කිචිබිචිය අහන්න ලස්සනයි. අත්තෙන් අත්තට පැන පැන උන් ගෙඩි කන දිහා වරුවක් වුනත් බලාගෙන ඉන්න පුලුවන්.
ඉස්සර අපෙ චූටි අක්කා හැන්දෑවට ඔය ජෑම් ගහ යටට ගිහින් කවි, කතා එහෙම ලියනවා...ඊට පස්සෙ ඒවා පත්තර වලට යවනවා. ඒවා පලවෙනකොට තව තව ලියන්න ගත්තා.අන්තිමේදි එයාට පත්තරේක රස්සාවක් හම්බවෙලා කොළඹට ගියා.ආයේ කොහෙද එයා ජෑම් ගහ යට ඉදගෙන ලියන්න එන්නේ..කොළඹයි පත්තරයි එයාව අයිතිකර ගත්තා..අවුරුදු විසිගාණක් විතර ගෙවිලා ගිහින්. දැන් ගමේ එක ගෙදරක ජෑම් ගහක් නැතිවුනත්, රබර් අතු අග්ගිස්සේ රාස්සිගෙ අව්ව වැතිරෙන හැන්දෑවල් හැම එකකම ජෑම් ගහ..අක්කා..මතක අතරින් එබෙන එක නතරවෙලා නෑ
--------------------------------------------------

මගේ මතක (03)
මැණිකා නෙළයි මැල්ලුමකට අඟුණ කොළ
බර කල්පනාවක වාගෙයි නිවිති වැල "
තව පද දෙකක් තියෙනවා..ඒත් මට මතකයට එන්නෙ නෑ
අපෙ තාත්තා ගෙදර වැඩ අම්මා විතරක් කරනක් කවදාවත් බලාගෙන හිටියේ නෑ..අපි හත් දෙනෙක් එක්ක අම්මා ඔට්ටු අල්ලනකොට, ඉස්කෝලෙ යන්න ඉස්සරවෙලත්, ඉස්කොලෙ අැරලා ආවට පස්සෙත් අම්මා එක්ක හරි හරියට තාත්තත් මහන්සි වුනා. තාත්තට ඕනම දෙයක් හරි රහට උයන්න පුලුවන්. මේ කවි පද දෙක කියන්නේ හැන්දෑවට වත්ත වටේට ඇවිදලා තාත්තා පලා කොළ කඩනකොට. එක එක කොළ ජාති එකතු කරගෙන ඇවිත් සෝදලා කපලා ‍පොල් අඹරලා දාලා රසම රස පලා මැල්ලුමක් හදනවා..හත්පලා කිව්වට ඒකේ පලා ජාති දාහතරකටත් වඩා තියෙන්න ඇති.
ලොකු අම්මලාගෙ උණ පදුර යට බැහැගෙන යන අව්ව හීන් හීන්වට ඉරි ඇදෙන වෙලාවට උල්පතට ගිහින් නාගෙන එන තාත්තා ,හෝදගෙන ආව සරම දෙකොනෙන් අල්ලලා චටාස් ගාලා ගසා දානකොට අව්රැල්ලට විසිරිච්ච වතුර බිංදුවලින් මතුවෙච්ච... ලස්සන දේදුන්න ..තාම මතකයි
-----------------------------------------------------

මගේ මතක (04)

මට මතකයි ඉදි ආප්ප කන්න හිතුනම ඒ දවස්වල අපෙ අම්මා පාන්පිටි අරන් පිරිසිදු රෙදි කෑල්ලක රවුමට බැදලා කඩපිම්ම බැදපු මුට්ටික තියලා වහලා තම්බනවා...පැයක් දෙකක් හොදට තැම්බුණාට පස්සෙ බිමට ගත්තම ගල් ගෙඩිය වගේ..හයි වෙලා.කඩන්න ලේසිනෑ...තැම්බුණු පිටිවලින් එන්නෙ හොද සුවඳක්... වට්ටියක දාල අර පිටි බෝලේ කඩල ආයෙම හලලා ගන්නවා...
තාත්ත තමා ඉදි ආප්ප හදන්නෙ..ඒකට තාත්තම හදාගත්ත තට්ටු තිබුණා. පීරිසියක් තරම් ලොකු ඇති එක තට්ටුවක්. තාත්තා ඉදි ආප්ප හදන අතරේ අම්මා...කිරි අල පිති ඇඹුලක් හදලා තෙම්පරාදුවක් දානවා..සුවඳ හැමතැනම. හරිම රහයි.
දැන් කාලෙ වගේ නිදාගන්නකන් බලන්න ඒ කාලෙ රූප පෙට්ටි තිබුණෙ නෑ. විදුලිය තිබුණෙත් නෑ.
මිදුලෙ තිබුණා දිග බංකුවක්. අම්මයි තාත්තයි අපියි යනවා ඒකට..අහසේ තරු යනවා බලන්න.අහස, හඳ, තරු, වවුලෝ, කලුවර එක්ක කලවම් වුන කිරිපාට හඳ එලිය අපෙ හිතත් එක්ක හරි ලගින් තියන්න ඒ වෙලාවට අම්මටයි තාත්තටයි පුලුවන් වුනා. සමහර විටක අපි දැනුත් දකින අපේ ළමයි තාමත් නොදකින ගොඩක් දේවල්වල සුන්දරත්වය, දකින්න විදින්න අපි හුරුවුනේ එතනින් වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා.

----------------------------------------------------------------
(ප්‍රියංකා නානායක්කාර )

3 comments:

  1. ප්‍රියංකා මගේ මතකයනුත් ඇවිස්සුවා. ඔය පිටි බෝලෙ මටත් මතකයි. මමත් හදපු ජෑම්ගහක් තියෙනවද බලන්න මම ලංකාවෙ අනිත් පැත්තට ගියා වරක්. ඒක ආණ්ඩුවෙ ක්වාර්ටර්ස් එකක්.

    ReplyDelete
  2. සතුටුයි. ඔබ මෙතුලින් මිහිරි මතකයක් කරා දිව ගියානම්. දුරු කතර ගෙවාගෙන බලන්න ගියපු ජෑම් ගහ...හොදින්ද

    ReplyDelete
  3. මටත් මතකයි ඒ පිටි බොලේ.. හරි ආසවෙන් මම ඒ දේවල් අම්මා එක්ක කලේ, සමහර වෙලාවට අම්මා බනිද්දි පැත්තකට වෙලා පාඩමක් කර ගන්න කියලා

    ReplyDelete