Thursday, August 24, 2017

කුඹුකේ ලිඳේ සීතල සෙවනේ ...

නිතරෝම සුරා මේරය කට ගාන අල්ලපු වත්තේ සිරිසේන අයියා මීට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දවසක හරි ලස්සනට වත්ත සැරසුවේය..ඒ ඔහුගේ ඇඹේණිය කුවෙට් සිට පැමිණි පලමුවරය..මුලු වත්තේම තිබුණු ගස් දෙබල්, ගල්, පස්කදු , හුඹස්, ගහන්න පුලුවන් හැමතැනකම ඉටිපන්දම් පත්තු කර ගැසුවේය...කලුවරේ ඉටිපන්දම් එලි පෙනුනේ හරියට තරුපිරි අහසෙන් උන්දෑගේ වත්තට කුට්ටියක් කඩාගෙන වැටුනා වගේය. ඊට පසු කිසි දිනක ඒ ගෙදර වෙසක් සැරසිල්ලක් නොදුටුවේය...අවුරුද්දට කෑ නොගහා කොහා මඟ හැරියා මෙන්ම වෙසක් මහට පෙර හතරවටින් ඇහි රෑහි නාදය මේ වෙනකොට නැත්තටම නැතිවී ගොස් ඇතිවාක් මෙන්ම සිරිසෙන අයියාගේ නෝනාද සිරිසේන අයියාවත් ගෙදරත් දෙකම මේ වන විට මඟ හැර ගොස් තිබුණාය..
හැමදේම මතක්වෙන අල්ලපනල්ලේ ඒකත් මතක් වුනාට කියන්නට ගියේ වෙන දෙයකි, ඒ අපේ ගෙදර වෙසක් ගැනය..
ඉස්සර අපි හැමෝම එකතුව වෙසක් කූඩු හදන්නේ හරිම සතුටෙනි..හතරස් පෙට්ටිද..අටපට්ටම්ද..තරුද..රවුම්ද..හැම එකම එක එක ගාණටය..ලොකුම කූඩුව හදන්නේ අයියාය. 
තාත්තා කූඩු සාදන්නෙ නැත..ඉරටු හෝ තල කූරූ සොයා ගෙනවිත් ටිකක් ලොකු මල්පෙති හැඩයට නමා ලීයක් වටකර මලක් හැඩයට බදින්නේය..රෝස පාට සව්කොල ගෙනවිත් පෙති පහ වෙන වෙනම අලවාගත් කල අලංකාර වෙසක් මලක් නිමවෙලාය..ඒ මැදට ඉටිපන්දමක් ගහයි...මෙවන් මල් හත අටක් සාදා මිදුල වටටම හිටවයි...අපේ වත්තේ එදවස මහ ගොඩක් පැපොල් ගස්ද විය..එයින් ලේබ නැතිව ගෙඩි කඩා ගන්නා තාත්තා ඒවා දෙකට පලා මදය සූරා දමයි..ඉන්පසු එතුලට පොල්තෙල් පුරවා පහන් වැටි දමා එක එක හැඩයට මිදුල පුරා තබා දල්වාලයි.පිලිවෙලකට ඇද ඇති ලණු දිගට පාට පාට බකට්ය..වෙසක් දවසෙ රෑ මිදුල පුදුම ලස්සනය..අද මෙන් පාට පාට බල්බ් වැල් එදා තිබුනේ නැත. එලිය පුරාම බල්බ් දල්වා අද මෙන් ගෙවල් ඇතුලට වී දොර වසාගෙන හිටියේද නැත. පත්තු කල වෙසක් කූඩුවල..බකට්වල ඉටිපන්දම් නිවෙනකන් ඒවාගේ ලස්සන බල බලා හද එලියේ මිදුලටම වී උන්නේය..ඒ එදා හැටිය..

------------------------------------------------------------------------------------------

අපේ ගමේ උල්පත තිබුණේ මහ කුඹුක් ගහක් මුලමය..දහ දෙනෙකුවත් දෑත විදා හැදූ රවුමකින් විනා එක්කෙනෙකුට දෙන්නෙකුනම් එය බදා ඇල්ලිය නොහැකි තරමටම කුඹක් ගහ විශාල බව හොදහැටි මතකය. එදවස අපි නාන්නට යන්නේ ද අපේ අම්මලා ගෙදරට වතුර ගේන්නේද මේ උල්පතෙන්ය..ගලාගෙන යන පැහැදිලි වතුර ඇතුලේ එහේ මෙහේ දගලන මාළුවෝ කකුල් දෙකට කොටන විට ඇතිවෙන කිතිය වලකාගන්නට අපි කොතෙකුත් උඩ පනින්නෙමු...අම්මා රෙදි හෝදන තෙක්ම අපි කරන්නේ මාළු පැටවු අල්ලා බාල්දියට එකතු කරන එකය. කුඹුක් ගෙඩි අහුලා ඇලට විසි කරන එකය. වතුර යට ඇති රතු පැහැ ගල් අහුලන එකය..ඒ ඔක්කොම එපාවූ කල කර වටක් වතුරේ ඉදගෙන දියබුං ගැසීමය.
තාත්තා එක්ක ආවම එහෙම නටන්නට බැරිය.තාත්තා එක්ක නාන්න එන්න අහුවෙන්නේත් චූටි අක්කාත් මල්ලීත් මාත්ය. ඉස්සර තාත්තාට ලොකූ බාල්දියක් තිබුණේය..අපි ඒකට හරි බයය..තාත්තා අපි තුන්දෙනා රවුමට හිදුවා අර ලොකු බාල්දියෙන් මාරුවෙන් මාරුවට වතුර වක්කරගෙන වක්කරගෙන යන්නේය..අපව නහවා ගෙදර එවා රෙදිද හෝදාගෙන තාත්තා නා එන්නෙ අපට පසුවය..නියර පිට එද්දී දවසක් මා වෙලට වැටුනාද මතකය. වෙල අහවර වෙන තැන වැටකෙයා ගාලත් එක්කම පාලම් දණ්ඩ වෙයි.. ඉන්නා සත්තු ඔක්කොම එතනය..කොක්කු, කොරවක්කු, දිය නයි,කබරගොයි, පිලිහුඩුවෝ.. රංචු ගැහුණු පුංචි ගොයම් කුරුල්ලෝ, හරි ලස්සනය,
දවසක් හැන්දෑවක ගෙදර ලඟ යසෝ අක්කා ගමටම ඇහෙන්න බෙදු .. පණිවිඩයක් ගෙන ආවාය. ඒ කුඹුක් ගහ ඉදිරී වැටී ඇති බවය. හිටපු හිටපු ගමන් හැමෝම දිව්වේ උල්පතටය. දැවැන්ත හස්තියෙක් පැත්ත වැටී සිටින්නාක් මෙන් එතෙක් කල් සෙවන දුන් උල්පතට කිසිම හානියක් නොකරම කුඹුක් ගහ ඉදිරී වැටී තිබුණේය..ගහක් වෙනුවෙන් මුළු ගමක් දුක්වුනානම සුසුම් හෙලුවානම් ඒ මේ කුඹුක් ගහ නිසාමය.ගම් වැසියන් එයට එතරම් ආදරය කලාදැයි හිතුනේ එදාය. අවුරුදු සීයකටත් වඩා වයස ඒ වෘක්ෂ රාජයාගේ නික්මීමත් සමග සුන්දර ලෙස තිබුණ ,අපේ උල්පතේ අවසානය ද ටිකෙන් ටික පැමිණි බව පමණක් හොද හැටිම මතකය .අද ඇත්තේ ඒ සුන්දර මතක ගුලි කරගත්, විටෙන් විට එන එන රජයේ නා නා විධ ප්‍රතිසංස්කරණයන්ට අසුවී ස්වාභාවික බව එහෙන් පිටින්ම කෙලසාදැමූ අස්වාබාවිකව ලෙස සිමෙන්ති බැමි පමණක් ඉස්මතුවූදිය වලක් මෙන් තැනකි. එහෙත් අපි විදි හා දැකි සුන්දර වට පිටාවක හා සුන්දර දිය බුබුලක මතකය තාමත් හිත තුලය,

(ප්‍රියංකා නානායක්කාර )

4 comments:

  1. ඔයාගේ රචනා ශෛල්‍ය ඉතාම අගෙයි... ලස්සන ලස්සන චිත්තරූප මැවෙනවා. “කලුවරේ ඉටිපන්දම් එලි පෙනුනේ හරියට තරුපිරි අහසෙන් උන්දෑගේ වත්තට කුට්ටියක් කඩාගෙන වැටුනා වගේය“ සරල වුවත් ලස්සන යෙදුමක්. කුඹුක් ගහ ගැන කියවගෙන කියවගෙන යද්දී මැවුනු පිංතූරත් එක්ක, නොදැනීම ඒ පරිසරයට, ගහට ආදරේ හිතුනා. කවදාවත් එහෙම පරිසරයක් අත් නොවිදපු මටත් දුකක් ඇතිවුණා ගහ කඩාගෙන වැටුණා කිව්වහම. ලස්සනයි දිගටම ලියන්න. සුබ පැතුම්!! 

    ReplyDelete
    Replies
    1. අද දවස් ගැන හිතනකොට ඒක මහා පුදුමාකාර ලස්සන අතීතයක්..එදා අපිට විසේස දෙයක් නොහිතුනාට, නොදැක්කට ඒ වටපිටාව ගැන..ඒ කාලය ගැන මෙතන ඉදන් ආපහු හැරිලා බලන කොට අද කොයි තරම් දේවල් හිතෙනවද.මිනිස්සු..හිතුවිලි..වටපිටාව..ඒ දේවල්වලට බයෙන්, ඒ දේවල් අත් ුැඇරලා මහා වේගෙකින් දුවගෙන ආව අවසානයක මැද හරියේ අපි දැන් නැවතිලා..එදා තරම් සතුටක් තියේද හිතේ කියලා කවුරුහරි ුැහුවොත් මම නම් දෙසරයක් නොහිතා එක සැරෙන්ම කියනවා නෑ කියලා. ස්තූතියි ඔබට අගයක් දුන්නට...

      Delete
  2. මේක දැක්කම මට මගෙ පොඩිකාලෙ මතක් වුනා.පොඩි කාලෙ නාන්ඩ කම්මැලි මට කුඹුක් ගහ මුල තිබුණු ලිඳ තවත් කම්මැලිකම වැඩිකරන හේතුවක් වුනේ ඒකෙ වතුර පට්ටම සීතල නිසා.ඒකට අපි ගියෙ පොඩි වෙනසකට විතරයි .නැත්තම් වත්ත පහළ තිබුණු මී ගහ යට ළිඳට ගියේ එතැන ගමේම මිනිස්සු එකතුවෙන තැන නිසා ඕපාදූප පිරිල තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. අපි නම් ඔක්කෝමලා එක්ක යනකොට විතරයි හැන්දෑවට නාන්න ගියේ..නැත්නම් අම්ම් එක්ක උදේ පාන්දර හතර හමාරට විතර යනවා..ඇවිල්ලා ඉස්කෝ‍ෙ යන්නත් ඕන හින්දා..ඒ වෙලාවට වතුර හරි රස්නෙයි..දුම වගේ උඩට යනවා පේනවා..දැන් වගේ වල් අලි ආවේ නෑ ඒ දවස්වල...හැබැයි ඒ වෙලාවට ඒ නෑම ඇන හිටියේ ග්‍රීස් යකා කියලා එකෙක් ආපු කාලේ.. ඒකා ගෑණුන්ගේ පපුව හපාකනවා කියලා ප්‍රචාරයක් ගියා ඊට පස්සෙ අම්මා බය වුනා..

      Delete